Sunday, September 11, 2011

මරණ දෙකක්.........

                                 නිවස ඉදිරියේ පිහිටි සුදු අරලිය ගහ දෙස මම බලා සිටිමි.සුදු පාට අරලිය මල් දෙස බලා සිටීමට මා ආශා කළත් අද එහි ඇත්තේ මහා මුසල පාටකි.නිවස අවට පවතින නිහඩ බව වෙනදා මා සන්සුන් කළත් අද එය මහා වදයක් වී ඇත.අරලිය ගහ අසල ඇයත් මමත් කුඩා කල සෙල්ලම් කල අයුරු මට සිහිවේ.
                                            මා හදුනන කිසිවෙක් ඇය තරම් මට ප්‍රිය නොවිය.ඇය මා හා කටයුතු කළ අන්දමට ඇය ද මට බෙහෙවින් ඇලුම් කළ බව මම දනිමි. මාගේ නිවසට යාබද නිවසට ඇය හා පවුලේ උදවිය පදිංචියට ආවේ මට යන්තම් අවුරුද්දක් වයසේදී බව මාගේ මව පවසනවා මතකය. එකල ඇය දෙහැවිරිදි වියේ පසුවිය.මතක ඇති කාලයේ සිට ඇය මාගේ හොදම මිතුරිය විය.සොයුරු සොයුරියන් කිසිවෙකු නොමැති මට ඇය ආදරණීය අක්කන්ඩියද වුවාය.
 
                           ඇය තරමක් උසය.පැහැපත් මුහුණ කුඩා නිකටකින් යුක්ත වුවාය.පිරුණු කම්මුල් සිනාසෙන විට වලගැසේ.උඩු ඇන්දේ වම් පසට වන්නට පිහිටි නළදත ඇයගේ සිනාවේ සුන්දරත්වය වැඩි කළේය.නිල් පැහැ ගත් ඇගේ දෙනෙත් දීප්තිමත්ය.ඇ තම සිරුරට ගැලපෙන ඇදුම් තෝරා ගත් අතර එමගින් ඇයගේ රුව වඩ වඩාත් පියකරු විය.
 
                            කුඩා කළ පටන් මිතුරන් ලෙස ඇසුරු කළ අප අතරේ රහස් නොතිබුණි.ඇයගේ ප්‍රේමය දිනා ගැනීමට බොහෝ තරුණයන් එන බව විටින්විට මා හට පවසා ති‍බේ.එහෙත් ඉගනීමට මුල් තැන දුන් ඇය එවැනි සම්බන්ධයකට කිසිසේත්ම එකඟ නොවුනි.2009 උසස් පෙළට පෙනී සිටි ඇය ඉන් උසස් ලෙස සමත්ව කොලඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිටයට ඇතුලත් වීමට සමත්විය.
 
                        ඇය සමගින් ඇයගේ පවුලේ අයද කොළඹ පදිංචියට ගිය නිසා පෙර මෙන් නිතර හමුවී කතා කිරිමේ අවස්ථාව අහිමිවිය. ඈ නව නිවසට ගිය මුල් දිනයේම දුරකථන ඇමතුමක් දෙමින් කතා කළ හැටි මට අද වාගේ මතකය. "ඒ මල්ලී,අපේ අලුත් ගෙදරත් අරලිය ගහක් තියනෝ" ඈ කතා කලේ බොහොම උද්යෝගයෙන් පැවසුවා මතකය. මා මෙන්ම ඇයත් සුදු පාට මල් පිරුණු අරලිය ගස් දිහා බලා සිටීම ප්‍රිය කළාය.
 
                           අප දෙදෙනාගේම ජිවිත කාර්ය බහුල වත්ම නිතර නිතර කතා කිරීමේ අවස්ථාව අහිමිව ගියාය.නමුත් ජීවිතයේ සෑම වැදගත් අවස්ථා වලදී ඇය මා ඇමතීමට අමතක නොකළාය. පසුගිය වසරේ එක්තරා දිනක මා ඇමතු ඇය තම ජීවිතයේ වැදගත්ම තීරණයක් ගත් බව පැවසුවාය. ඇගේ ප්‍රේමය දිනා ගැනීමට තරුණයෙක් සමත්ව සිටියාය. ඉන් පසුව ඇය නොයෙක් වර සම්පත් ගැන පවසා තිබේ.සම්පත් ඒ ඔහුගේ නමයි. ඔහු ඇගේ විශ්ව විද්‍යාලයේම සිසුවෙකි.
 
                       ඊයේ රාත්‍රියේ ඇය යලිත් මා ඇමතුවාය. "මල්ලි සම්පත් මහා බොරු කාරයෙක්.එයා මාව රැවට්ටුවා.ඒත් දෙයියනේ මට එයාව අමතක කරන්න බෑ දෙයියනේ.මට මොනාව කරන්නද කියල හිතා ගන්න බැ.මට මැරෙන්න ඕන" කියමින් ඇඩුවා මතකය.ඇය කිහිප විටක්ම දිවි තොර කර ගැනීමට අවැසි බව කියුවත් මා එය එතරම් වැදගත් ලෙස සැලකුවේ නැත.
 
               අද උදයේ නිවසේ දුරකථනය නාද වීමෙන් මම පිබිදුනාය.දුරකථනයට පිළිතුරු දුන් අම්මා තාත්තට කතා කළ නාදයෙන් කුමක්හෝ හදිසියක් බව වටහා ගත්තෙමි."දුව...දුව..." දියණියන් නොමැති අම්මා "දුව" යැයි කියන්නේ අක්කාටය. " දුව නැති වෙලාලු, රෙදි වැල ලිහලා ගෙදර ඉස්සරහ තියන අරලිය ගහේ එල්ලිළලු" අම්මා තව මොනවාද කියුවත් මට ඒවා තේරුනේ නැත.මගේ දෙපා පන නැති වෙන බව දැනිණි.උගුරේ ගුලියක් හිර වෙන සෙයක් දැනුණි.හදවත බරව කඩා වැටුනු සෙයක් දැනුණි.
 
                     අම්මත් තාත්තත් රැකියාව්ට පිටත් වූ පසු මම නිවස ඉදිරි පිට අරලියගහ දෙස බලාගෙන වාඩිවුනෙමි. මහා වරදකාරී හැගීමක් මට දැනේ.ඇගේ ජීවිතය රැක ගනිමට් මට හැකියාව තිබිණි.මගේ ආදරණීය අක්කා මරා දැමුවේ මා යි මට සිතේ.
 
මම අනිමිසලෝචනයෙන් අරලිය ගහ දෙස බලා සිටිමි.අරලිය ගසත් අසල ගසකුත් අතර බැදී රෙදි වැල අසල මගේ දෙනෙත් නතරවි ඇත................

2 comments:

  1. අනේ මචෝ... මලලසේකරයි..
    අක්කා මාර දරුණු තිරණයක් නේ අරන් තින්නේ..

    වෛද්‍යවරියක් ,,,, හිතාගන්නත් බෑ..
    දුක නිදහස් වෙන්න ලිවිම ගැන ගොඩක් ආඩම්බර වෙනවා.

    ReplyDelete